Tuesday, January 10, 2017

යහපාලන රජයට විකල්පයක්

දේශනයක් පවත්වන මුහුණක් නොමැති අයෙක්


සෞඛ්‍ය පරිපාලනයට සම්බන්ධ වෛද්‍යවරයෙකු වන මගේ පන්ති සගයෙකු කලකට පසුව හමුවීමට ගිය සතියේදී හැකිවිය. එහි වැදගත් කම වූයේ 2015 ජනාධිපතිවරණයට පසුව ඔහුව හමුවුණ මුල්ම වතාව වීම නිසාය. ඔහු එම මැතිවරණයට පෙර හිටපු ජනාධිපතිතුමාට පක්ෂපාතීව අදහස් ප්‍රකාශ කල අයෙකි. පසුව ෆේස්බුක් මෙසේජ් හරහා යහපාලන රජය දැඩි ලෙස විවේචනය කරමින් මා සමඟ වාද වලට පැටළුනත් රජයේ සේවකයෙකු ලෙස Timeline එකේ රජය විවේචනය කිරීමෙන් ඔහු වැලකී සිටියේය. නිවාඩුවට පැමිණි පොදු මිතුරන් වෙනුවෙන් පැවති සාදයකදී මීවිතක් තොලගාමින් දේශපාලනයේ කොන් දෙකක සිටින අපි දෙදෙනාට සුහද දේශපාලන කථා බහක යෙදීමට ඉඩ ලැබිණි.

ඒ කථා බහ පණිවිඩය පැත්තක තිබියදී පණිවිඩකරුවාට පහරදෙන දේශපාලන වාදයක් නොවිණි.  කරුණු ගැන පමණක් පදනම්ව සිදුවුණු ඒ සංවාදය නිසා සමහර   මෛත්‍රී - රනිල් විරෝධීන් ගේ අදහස් යහපාලන වාදීන් හිතවාදී අදහස් වලට වඩා එතරම් වෙනසක් නැති බව මට වැටහිණි.  

එම අදහස් කිහිපයක් නම්;

යහපාලන රජය යටතේ තරමක් අඩුවෙන් හෝ සිදුවන ඥාතීන් තනතුරු වලට පත්කිරීම, බැඳුම්කර නිකුතුව වැනි විනිවිද පෙනෙන භාවයෙන් අඩු සිද්ධීන් ගැන මෙම ආණ්ඩු විරෝධීන් හෙලා දකියි. යහපාලනය බලාපොරොත්තුවන්නන්ද මේවාට එලෙසම විරුද්ධය. 

පසුගිය රජය යටතේ සිදුවූ සුදු වෑන් පැහැරගැනීම්, මුදල් ගසා කෑම පමණක් අරමුණු කරගත් සුදු අලි ව්‍යාපෘති, නීතියට ඉහලින් ක්‍රියාත්මක වූ රජපවුල සහ ආවඩන්නන්, අලි පැටව් හොරකම්, විරුද්ධවාදීන් සිරගත කිරීම, විනිශ්චයකාරවරුන් එලවීම, ආදී යහපාලන වාදීන් විරුද්ධ වූ දේවලට මෙම ආණ්ඩු විරෝධීනුත් විරුද්ධය. 

මෙයින් මට වැටහුණ කාරණයක්නම් ආණ්ඩු විරෝධීන් සියළු දෙනාම රාජපක්ෂ පාලනයක් නැවත ඇතිකිරීමට මාන බලන වුන් නොවේය යන්නය. 

මගේ මිතුරාගේ අදහස වූයේ රනිල් හෝ යූ එන් පී නොවන එහෙත් රජ පවුලෙන්ද නොවන නායකත්වයක් රටට ලැබිය යුතු බවය. පාරම්පරික නිදහස් පක්ෂයට ලැදි පවුලකින් පැවත එන ඔහුගේ රනිල් විරෝධී අදහසට හේතු සෙවීමට මට අවශ්‍ය නොවීය. 

ඔහුගේ මෙම අදහස ගැන සිතන විට එ.ජා.ප නොවන (රාජපක්ෂවාදීන් ද නොවන ) රජයකට මගේ සිතේ ඉඩ ඇත්දැයි සිතා බැළුවෙමි. අද ඉන්න දේශපාලකයන්ගෙන් එම රාමුවට ගැපෙන දේශපාලකයෙකු එ.ජා.ප නොවන ප්‍රධාන කඳවුරක නොමැති බව මගේ අදහසයි. රජපවුල ගත් මාර්ග වලට විරුද්ධ මාර්ගයක් ගත් අයකු එම පාලනයෙන් පසු දේශපාලනයේ ඉතිරිවී නොමැති බව රහසක් නොවේ.  එහෙත් හිටපු විදේශ අමාත්‍ය දිවංගත ලක්ෂ්මන් කදිරගාමර් වැනි නායකත්වයක් යටතේ එජාප නොවන පාලනයක් රටේ ඇතිවීම නරක විකල්පයක් යැයි සිතීමට නොහැකිය. 

කණගාටුවට කරුණ වනුයේ රාජපක්ෂවරුන් දේශපාලනයේ ඉන්නා තාක් කල් සහ අළුත්ගමගේ, වෙල්ගම, දිනේශ්, වාසු, විමල්, බන්දුල ගුණවර්ධන, මාල හොරා වැනි අපතයන් ශ්‍රිලනිප දේශපාලනයෙන් ඉවත් නොවීමයි. මෙම රොත්ත දේශපාලනයෙන් ඉවත්වන දිනකදී නිදහස් පක්ෂයත් රට පාලනයට සුදුසු විකල්පයක් ලෙස යහපාලනය පතන සමහරුන්ට පෙනීමට ඉඩ ඇත. 

රනිල් වික්‍රමසිංහගෙන් පසුව එජාප නායකත්වයට පත්වන පුද්ගලයා අනුව සමහර පාරම්පරික එජාප පාක්ෂිකයින් සමහරක්ද 'චන්ඩි රජා' රාමුවෙන් මිදුන නායකත්වයක් යටතේ ඇත්නම් නිදහස් පක්ෂයද සුදුසු විකල්පයක් ලෙස සැලකීමට ඉඩ ඇත. ප්‍රතිපත්තීන් අතර වෙනස්කම් තිබුණත් රටේ පාලනයට සුදුසු කණ්ඩායම් දෙකක් ආණ්ඩුවේ සහ විපක්ෂයේ සිටීම රටට යහපතක් බව පිළිගත යුතුය.