Sunday, December 18, 2016

හම්බන්තොට වරාය විකිණීම දේශද්‍රෝහී ක්‍රියාවක්

ඩොලර් මිලියන් 15000 ක් වියදම් ණයට ගෙන වියදම් කර ඉදිකෙරුණු හම්බන්තොට වරාය චීන රජයට අයත සමාගමකට අවුරුදු 99 කට බලපාන පරිදි විකිණීමට රජය ගෙන ඇති තීරණය රටේ පැත්තෙන් බලනවිට ඉතා නරක එකකි. රටේ සම්පත් විකුණාගෙන කෑමට එජාප ආණ්ඩු රුසියෝය. පසුගිය ආණ්ඩුව කලේ ණය ලබාගෙන හෝ රටට සම්පත් එකතුකිරීමය. දවසකට කන්ටේනර් තුන්හාරසීයක් බෑමට හැකියාව ඇති බහාළුම් පර්යන්තයකින් කන්ටේනර් දහයක් පහලොවක් බෑවත් එම කන්ටේනර් පර්යන්තය රටේ සම්පතකි. වඩාත්ම ප්‍රයෝජනයට ගන්නා නැව්මාර්ගයක් ආසන්නයේ පිහිටා ඇති හම්බන්තොට වරායට නැව් ගෙන්නා ගැනීමට රජය අපොහොසත් වී ඇත්තේ ඔවුන්ගේ අකාර්‍යක්ෂමතාව නිසාය. හම්බන්තොට වරායක් ඇතිබව නොදන්නා නැව් සමාගම් සහ කැප්ටන් වරුන්ට පෙනෙන ලෙස අඩුම ගණනේ හම්බන්තොට  මුහුදේ බෝඩ් ලෑල්ලක් වත් ගැසීමට ආණ්ඩුව කිසිම පියවරක් ගෙන නැත.

Thursday, December 1, 2016

ජනමත විචාරණයකට කාලයයි




වලිගය විසින් බල්ලා වනනවා වැනි සමාජයක් බිහිවී ඇති රටේ මහජනයාගේ කැමැත්ත කෙලින්ම විමසා කළ යුතු වෙනස් කිරීම් කිහිපයක් ඇත. පෞද්ගලික අධ්‍යාපන ආයතන ගැන තීරණය නොමිලේ අධ්‍යාපනය ලබන සිසුන් විසින් වර්ජන හරහා ගනු ලැබීම වැනි දේවල් සඳහා මහජන කැමැත්ත ලබා ගැනීම හැර ඇති එකම විකල්පය පසුගිය රජය විසින් ක්‍රියාත්මක කල සුදු වෑන් සංකල්පය පමණි. 

එක්වරක් පවත්වන ජනමත විචාරණයකින් පහත දැක්වෙන දේවල් වලට කෙලින්ම මහජන කැමැත්ත විමසා ඒ අනුව තීරණ ගැනීම රටට වඩාත් වැඩදායක විය හැක.

1. 19 වන සංශෝධනය අවස්ථාවේ යෝජනාවූ එවකට අගෝස්තු මැතිවරණයට පෙර විපක්ෂය විරුද්ධ වූ පිල් මාරු කිරීමේදී ආසනය අහිමි වීම නැවත ඇති කිරීම. 

Wednesday, November 30, 2016

ලංකාවේ සිවිල් සමාජය එහි වගකීම ඉටුකරනවාද

පළාත්පාලන ආයතනයක නාමපුවරුවක්

සංවිධානාත්මක සිවිල් සමාජ ක්‍රියාකරීන් ගෙන් ඉටුවිය යුතු කාර්‍යභාරය දැන් ඉටුවෙනවාද නැත්ද යන්න සිතා බලන්න. ජනවාරි 8 වෙනසට මුල පිරීමට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත්වීමට පෙර සිටම ඔවුන් සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් බව රහසක් නොවේ. ඔවුන්ගේ අරමුණ සාර්ථක වූ පසුව ඔවුන් පොදු අපේක්ෂකයා සමඟ එකඟ වුණු කරුණු ගැන ලඟකදී ඇතිවූ තත්ත්වයේදී අදහස් දැක්වීමක් සහ විපරමක් සිදුවුණද ඔවුන්ට කල හැකි විශාල කාර්‍යභාරයක්  ගැන අවබෝධයකින් කටයුතු කරන්නේ නැති බව මගේ අදහසයි. 

Saturday, November 26, 2016

මැට්ටලා

මත්තල නාම පුවරුව


මේ ලිපිය අපි අතර ඉන්න මැට්ටලා ගැන නෙමෙයි. විදේශිකයින් Mattala යන්න උච්චාරණය කරන්නේ මැට්ටල කියා නිසයි. අන්සතු දිනපොත මත්තල ආදායම වැඩි කරන්න අදහසකුත් එක්ක පෝස්ට් එකක් දාල තිබුණා.  ඒ ලිපියට කමෙන්ට් එකක් දාල තියෙන හුනෝ ඇත්තෙක් කියල තිබුණා කටුනායක ගුවන් තොටුපොල අළුත්වැඩියා කරන කාලේ එම ගුවන් ගමන් අහිමි කර නොගෙන ඒවා මත්තලට හරවන්න තිබුණා කියලා. මට මතක් වුණේ අපේ දේශපාලනයේ ඉන්න විශිෂ්ඨම උගතා විමල් වීරවංශ මැතිතුමා වරක් කිව්වා ලෝක බැංකු ණය රුපියල් වලින් ගෙවා දානවා කියලා. මේ මත්තල ගැන කියා ඇති හුනෝත් ඉගෙනගෙන ඇත්තේ ඒ විශ්ව විද්‍යාලයෙන්මයි වගේ.

ගුවන් තොටුපොලක් කියන්නේ පහසුකම් සපයන්නෙක් මිස කෙලින්ම ප්‍රවාහන ව්‍යාපාරයේ යෙදෙන්නෙක් නොවේ. එසේ යෙදෙන්නේ ගුවන් යානා සමාගම්. ඒ හුනෝ ඇත්තා කියන විදිහට ගුවන් සමාගම් වලට කටුනායක අළුත්වැඩියා කරන කාලෙට මත්තලට යන්න කියල ගුවන්තොටුපොල අධිකාරිය කියල නැහැ. ඒනිසා ඒගොල්ලො ලංකාවට එන ගමන් වාර ගණන අඩුකරන්න වෙලා. මත්තල ගුවත් තොටුපොලක් තියෙන වග නොදන්න ලංකාවට ගුවන් ගමන් කරන ගුවන් සේවා සමාගමක් තියෙන්න බැහැ කියන එක මේ මැට්ටලාට තේරෙන්නේ නැහැ. කටුනායක අළුත්වැඩියා කාලය තුල මත්තලට යන එක ඵලදායී නම් ගුවන් සමාගම් ගුවන් තොටුපොල අධිකාරිය කියන කම් බලාගෙන ඉන්නෙ නැහැ.

Wednesday, November 23, 2016

සමාව ඉල්ලා එපා යදින්නට




දේශපාලන කථා වලින් මිදෙන්න විදිහක් ලැබුණා.  මම ලියපු මගේම අත්දැකීමක් වෙන මගේ පලමු ගීතයම තමයි මගේ මුල පෝස්ට් එක. ඒකට ක්‍රියේශී අනුරාධී කියන කමෙන්ට්කාරිණියක් පිළිතුරු පදමාලාවක් දාල තිබ්බා. ඇයගේ අවසරය අරගෙන එම පදමාලාව ගීතයක් කරන්න හැකිවුණා. මේ උඩ තියෙන්නේ ඒ ගීතය. 

ගීතය ක්‍රියේශි ගෙන් ඉල්ලගත්තෙ 2015  සැප්තැම්බර්  දවසක. ඒකට සංගීතය සපයගන්න මාස 8 ක් විතර ගියා. විශාරද රෝහණ වීරසිංහ සගීතඥයා මේ ගීතයට සංගීතය සැපයූවේ. එතුමා මීට කලින් මම නිෂ්පාදන කරපු වර්ණ කුලකය ලියපු අජන්තා පීරිස් ගායන කරපු මේ සිංදුවටත් සංගීතය සැපයූවා. නෙළුම්යාය උත්සවේදි අජන්තා පීරිස් මේ ගීතය සජීවීව ගායන කලා.

Monday, November 21, 2016

ට්‍රම්ප් තුමා සමඟ නැගිටිමු

ට්‍රම්ප් මහතාගේ හිස පීරිමේ විලාසිතාව අනුගමනය කිරීමට උත්සාහ කරන අයෙක්

ගිය සතියේ පැවැත්වුණ ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ජයග්‍රහණය ගැන විවිධ අර්ථකථන සහ හුරේ දැමීම් පුවත්පත්වල, රූපවාහිනී නාලිකා තුල මෙන්ම බ්ලොග් තුලත් දක්නට ලැබුණා. බ්‍රෙක්සිට් ජයග්‍රහණය සහ මෙම ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය හේතුවක් ඇතිව හෝ නැතිව රාජපක්ෂවාදීන් අමන්දානන්දයට පත්වෙලා. මොවුන් ට්‍රම්ප් මහතාගේ ගේ ජයග්‍රහණය අනාගත රාජපක්ෂ ජයග්‍රහණයකට සමාන කරන්නේ ඇයිද යන්න නම් මට තේරෙන්නේ නැහැ. ඒ පහත දැක්වෙන හේතු නිසා. 

ට්‍රම්ප් යනු වෘත්තීය දේශපාලඥයෙක් නොවේ. ඔහු ව්‍යාපාරිකයෙක්. එක්තරා අන්දමකින් ව්‍යාපාරයක් පරිපාලනය කිරීම රටක් පරිපාලනය කිරීමට සමානයි. වියදම් අඩුකිරීම, ක්‍රියා දාම කාර්‍යක්ෂම කිරීම, එක් එක් අංශ වල සහ සමස්තයටම ලඟා විය යුතු ඉලක්ක කලින් තීරණය කර ඒවා කරා ලඟා වීමට සම්පත් මෙහෙයවීම, හදිසි අවස්ථාවලට මුහුණ දීම වැනි හැකියාවන් රටක් පාලනයේදී සාර්ථක නායකත්වයක් දීමට අවශ්‍යම දෙයක්.

Monday, November 14, 2016

හැත්තෑවේ දශකයේ නූගතුන් බ්ලොග් ලියනවාද


පාර්ලිමේන්තුව පසුබිමේ ඇති අය වැය ලේබලයක්

අය වැය ගැන සමාජයේ විවිධ මත පලවෙමින් තිබේ. එවායින් ඒ මත පල කරන අයගේ සමාජීය සහ දේශපාලන දැනුම ප්‍රදර්ශණය කරමින් පවතී. පසුගිය අවුරුදු දෙකේ මා සිතූ දෙයක්නම් සාමාන්‍ය මහජනතාවගේ දැනීමට එහා දැනීමක් එමෙන්ම වැටහීමක් ඇති අය බ්ලොග් ලෝකයේ සැරිසරන බවකි. 

අය වැයක් යනු රටේ මීලඟ වසරේ අදායම් සහ වියදම් ඇස්තමේන්තු පාර්ලිමේන්තුව මඟින් අනුමත කරවා ගැනීමේ කාර්යාවලියයි. එය සමාගමක ඊලඟ වසරේ බජට් එක අධ්‍යක්ෂක මණ්ඩලයකින්  අනුමත කරවා ගැනීමට බොහෝ සෙයින් සමානවේ. 1956 බලයට පත්ව 1960 මාස කිහිපයක් හැර 1965 දක්වාම මයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෞද්ගලික සමාගම් පවරා ගන්නා ප්‍රතිපත්තියක් අනුගමනය කලද බස් ජනසතුව හැරුණු කොට එසේ පවරා ගැනුනේ විදේශීය සමාගම් සතු දේපලය. ඒවා කාර්යක්ෂමව කලමනාකරණය කරමින් තිබූ ආයතන නිසා ඒවායින් විශාල මුල්‍ය පාඩුවක් රට සිදු නොවිනි. 1965 බලයට පත්වූ එජාප රජය 1967 දී රටේ මුදල් අතිරික්තයක් තිබූ මොහොතක එම මුදල් යොදවා කොලඹ උතුර යා කෙරෙන අධ්වේගී මාර්ගයක් තැනීමට සිතීය. රාජ්‍ය නායකයෙකු වීමට වඩා මහණ දම් පිරීමට සුදුස්සෙකු වූ එවකට අගමැති ඩඩ්ලි සේනානායක මහතා එම මුදල් ප්‍රයෝජනයට ගණිමින්  මහජනයාට නොමිලේ සහල් සේරු දෙකක් දීමට ක්‍රියා කලේය. 

Thursday, November 10, 2016

කොහොමද කෑම?


(LankaNewsweb) 2015 ජනවාරි 08 වනදා යහපාලන රජය බලයට පත් වූ අළුත ම එවකට ඩුබායි රාජ්‍යයේ සේවය කළ බැංකු කළමනාකරුවකු විසින් එක්තරා බැංකු ගිණුම් 3ක ගිණුම් ශේෂයන් සඳහන් ඡායාරූප ( Screen shots ) 3ක් ලබාගෙන තිබිණි. ඉන් පළමුවැන්න නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ය. එහි තැන්පත් කර තිබුණු මුදල ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 1.086 ක් (රුපියල් බිලියන 163 ක් පමණ)  සටහන් වී ඇත. දෙවැන්න කුඩාබාලගේ පියදාස සහ රාජපක්ෂ පවුලේ සමීපතමයෙකුට අයත් හවුල් ගිණුමකි. එහි ඇමරිකානු ඩොලර් බිලියන 1.80 ක (රුපියල් බිලියන 270 ක් පමණ) මුදලක් තැන්පතු ලෙස සටහන් ව ඇත. තුන්වැන්න හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ගේය. එහි ඇමරිකානු ඩොලර් මිලියන 500 ක (රුපියල් බිලියන 75 ක් පමණ) මුදලක් තිබී ඇත. මෙම මුදල් ප්‍රමාණය එක් වරම සිතා ගැනීමට අපහසු තරම් විශාල වෙතත් රාජපක්ෂ පවුල් හවුල වසර නවයක සිය පාලන කාලය තුළ දී මෙතරම් මුදලක් ඩුබායි රාජ්‍යයෙහි ඉතුරුම් ලෙස තැන්පත් කිරීමට සමත් වී තිබිණි. 

Tuesday, November 8, 2016

සිංහල ජාතියේ පැවැත්ම වෙනුවන් කල් තබා ගතයුතු දෙයක්


කල් තබා ගැනීම සඳහා වියලන ලද පළතුරු

ආහාර කල්තබා ගැනීම පටන් ගැනීම දඩයමේ ගිය යුගයෙන් පසු සමාජයේ පරිනාමයට හේතුවුණා කියල කියනවනෙ. එහෙම මස් කල් තබා ගන්න පාවිච්චි කරපු ක්‍රම වලින් කෝන්ඩ් බීෆ්, බේකන්, ජාඩි, බීෆ් ජර්කි වගේ දේවලුත් කිරි කල්තබා ගන්න ක්‍රම නිසා චීස්, ගිතෙල්, මෝරු වගේ දේවල් මනුෂ්‍ය ආහාර වලට එකතුවුණා. ඊට පස්සෙ ශීතකරණ එහෙම ඇවිල්ල එලවළු පළතුරු වලට අමතරව වෙන කල්තබා ගැනීමේ ක්‍රමයක් පාවිච්චි නොකරපු මස් එහෙමත් කල් තබා ගන්න පුළුවන් වුණා. මනුෂ්‍ය පරිනාමයේ ඒවගේ වැදගත් සංදිස්ථානයකට අපි ඇවිල්ලා ඉන්නෙ. මේ කියන දේ කල් තියා ගන්න නවීන කල් තබා ගැනීමේ උපාය මාර්ගයක් හොයන්න වෙලා. අඩුම වශයෙන් 2020 වෙනකන් වත් කල් ඉකුත් නොවී රස වෙනස් නොවී කල්තබා ගැනීමේ ක්‍රමයක් හොයාගන්න සිද්ධ වෙලා තියෙන ඓතිහාසික අවස්ථාවක්. 

Thursday, November 3, 2016

ජවිපෙට අනාගතයක්


ජනතා විමුක්ති පෙරමුණේ ලාංජනය

ශ්‍රී ලංකාවේ දේශපාලනය තියෙන්නේ පෙර නොදුටු සංදිස්ථානයක බව වැඩි දෙනෙකුට තේරෙනවා. මෙතනින් එහා දේශපාලන අනාගතය මොනවගේ වෙයිද කියන එක ගැනම් මත විවිධාකාරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්දට හිතවත් සහ නැති වශයෙන් භේද වෙලා ඉන්නේ. බණ්ඩාරණායක වරුන්ගේ දරුවන්ට තිබ්බ ආකර්ශණය රාජපක්ෂ දරුවන්ට සමාජයේ නැහැ. එම නිසා රාජපක්ෂවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලනය නැවත අත්පත් කරගත්තත් ඒක එක පරම්පරාවකින් එහාට යන්නේ නැහැ. රාජපක්ෂවරු අයින් වුණත් මෛත්‍රීපාල සිරිසේනටත් මේ පරම්පරාවෙන් එහාට පක්ෂය ගෙනයන්න රට පිළිගත් දෙවන පෙළක් ඇතිවී නැහැ.

Wednesday, November 2, 2016

අල්ලස් කොමිසම කටඋත්තරයක් ඉල්ලූවිට බුදු දහම අනතුරේ වැටෙන්නේ කෙසේද?



ෆීල්ඩ් මර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහ රනිල් 
(Colombo telegraph) ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට එක්සත් ජාතික පක්‍ෂයේ කැලණිය ආසන සංවිධායක ධූරය පිරිනැමීම නිමිත්තෙන් අද (02) දින පැවැති උත්සවයේදී එක්සත් ජාතික පක්‍ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැක්වූ අදහස්:
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයේ කැලණිය ආසනයේ සංවිධායක ලෙස අද (02) දින පත්වීම් ලබනවා. කැලණිය එක්සත් ජාතික පක්ෂයට විශේෂ ආසනයක් බව කිව යුතුයි. කැලණිය ආසනය නියෝජනය කළ පළමු මන්ත්‍රීතුමා වන්නේ ඩී.බී. ජයතිලක මහතායි. ඉන්පසුව ජේ.ආර්. ජයවර්ධන කැලණිය ආසනය නියෝජනය කළා. අනෙක් පක්ෂයෙන් ආර්.බී. සේනානායක කැලණිය නියෝජනය කළා. ඉන්පසුව ආර්.එස්. පෙරේරා අවසන් වශයෙන් සිරිල් මැතිව් කැලණිය නියෝජනය කළා.

Friday, October 28, 2016

සිරිපාදේ, එටිසලාට් හා කන්ඩළම

ආගම් වල සංකේත

මේ පෝස්ට් එකට ඉන්ස්පිරේශන් එක මාතෙ ගේ මේ පෝස්ට් එක. එකේ සිරිපාද ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තැනීමට සැලසුම් කිරීමක් ගැන ඇති ආන්දෝලනයට ඔරිජිනල් මාතෙ ස්ටයිල් එකෙන් අදහසක් ඉදිරිපත් කරනවා. මේ අදහසම තව ටිකක් එහාට ගිහින් ඒගැන අදහසක් ප්‍රකාශ කිරීමට අවසර.

Monday, October 24, 2016

සත්ගුණවත් ව්‍යාපාරික

පෙර ලිපිය නිසා සති අන්තයේ මට හීන් බබා සීයා ගෙන් කෝල් එකක් ආව. එයා කියනව එයගේ චරිතය පාවිච්චි කරගෙන විකාර අදහස් මිනිස්සුන්ට දාන්න එපාය දානවනම් ඉඩම් වාහන නැති අයටත් කරන්න පුළුවන් දේවල් කියන්න කියලා. අනික අපේ හිතවත් D.G.M බස්සා පෝස්ට් එකක් දාල තියෙනව එයයි හීන් බබා සීයයි අතර සංවාදයක්. ඔන්න ඔය දේවල් නිසා සුළුවෙන් ආරම්භ කරන්න පුළුවන් ව්‍යාපාර ගැන මම දන්න විදිහට විස්තරයක් තමයි මේ. සුළුවෙන් කිව්වෙ ආරම්භය විතරයි හරියට කරගෙන ගියොත් කෝටිපතියෙක් වෙන්න බැරි වෙන්නේ නැහැ. අර හිත ඇත්නම් පත කුඩාද කියලත් කියල තියෙනවනෙ.

ඔක්කොටම ඉස්සෙල්ලා ව්‍යාපාරයක් සාර්ථක වෙන රහස් ටික කියල ඉන්නම්. කාට හරි පාවිච්චි කරන්න දෙයක් හදනකොට ඒක තමන්ට පාවිච්චි කරන්න හදනවා කියලා හිතලා හොඳටම හදන්න. කවදාවත් බාල බඩු, පරණ කෑම වගේ දේවල් විකුණන්න එපා. එවායේන් වෙන හානිය විශාලයි. ගොඩක් දෙනෙක් නැතිවෙන්නේ ඉක්මනින් ලාභ ගන්න බාල දේවල් විකුණන නිසා. හොඳ දෙයක් කරනකොට කට වචනෙන් ඉස්සරහට ගොඩක් බිස්නස් හැදෙනවා. ඒවගේම ආහාර නොවන දේවලට අවුරුද්දක වගකීමක් දෙන්න බය වෙන්න එපා. එතකොට පාරිභෝගිකයාට  බයක් නැතුව ගන්න පුළුවන්. ඒවගේම යමක් කැඩුණොත් ඉක්මනටම හදල දෙන්න. මේවා ඕනෑම ලොකු පොඩි ව්‍යාපාරයකට පොදුයි.

Saturday, October 22, 2016

ඉතින්, ඉතින් හීන් බබා සීයේ

Buy - Sell

සමාජයේ සම්මුතිය වන අකාරයේ ජීවිතයක් ගෙවීමට අපි බොහොම දෙනෙක් හරි කැමතියි. රැකියාවේ යම් තත්ත්වයකට ආවම ගෙයක් සහ වාහනයක් තියෙනවනම් රස්සාවකට හිහිල්ල ගෙදර එන එකයි, සුමානේ අන්තිමට ළමයින්ව පන්ති අරගෙන යන එකයි කරගෙන කිසිම වෙනසක් නැතුව ජීවිතේ ගෙවන එක මොන තරම් සොමිද? නේද?

ඔය හැමදාම එකම විදිහට අවුරුද්දෙන් අවුරුද්ද ගෙවා දාන්නෙ නැතුව පොඩ්ඩක් ස්පයිස් අප් කරල ගන්න එහෙම හිතිල නැත්ද? ඕනනම් චෙෆාකි වගේ කාමසූත්‍ර අළුත් වර්ශන් එක ඩවුන්ලෝඩ් කරල ස්පයිස් අප් කරන්න ට්‍රයි කරන්න පුළුවන්. වැඩිපුර අවදානමක් ගන්නෙ නැතුව ඒවගේ කරපු මගෙ යාළුවෙක් ගෙ කථාවකින් පටන් ගන්නම්. මේක සිද්ධ වුණේ 1990 දශකයේ. මේ යාළුවාට සහ ඔහුගේ බිරිඳට රැකියාවල් , ඉන්න ගෙයක් සහ වාහනයක් තිබුණා. එක දවසක් කොහෙ හරි වාහනේ නවත්වගෙන එයාගේ බිරිඳ ශොපිං කර කර ඉන්නකොට එක පුද්ගලයෙක් එයාගේ වාහනේ විකුණනවද කියල අහල තියෙනවා. 

Wednesday, October 19, 2016

තව පාරක්



හැම සාම සාකච්චාවක්ම තව යුද්ධෙකට මුල කියල කිව්ව වගේ දෙයක් තමයි වුණේ.

ඉස්සෙල්ල පෝස්ට් එකට වෙච්ච දේ ගැන ප්‍රාජේ සමඟ සාකච්චා කලා. එතුමා කිව්වා කියන්න උත්සාහ කල දේ සාරාංශය පමණක් ආයිමත් කියන්න කියලා.



තමන්ගේ බ්ලොග් එකේ වෙන බ්ලොග් කරුවෙකුට අපහාස වෙන විදිහට යමක් කමන්ට් එකක් විදිහට පළ වුණොත් ඒක ඉවත් කරන්න එකඟ වෙමුද?  අදාල බ්ලොග් කරුවා ඉල්ලීමක් කලත් නැතත්. 


කරුණාකර උදව්වක් විදිහට, කැමතියි / අකමැතියි කියන වචන දෙකෙන් පමණක් පිළිතුරු දෙන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි. 



Wednesday, October 12, 2016

ඇත්තටම දැක්කද?

කහපාට ගවුමකින් සැරසුන යුවතියක්


එක දවසක් මම අපි හැමෝම දන්න කෙනෙක්ගෙ ඔෆිස් එකට ගියා. කවුද කියල අහන්න එපා කියන්නෙ නම් නැහැ. ඒකේ බොස් තමයි අපි දන්න එක්කෙනා. ඇතුලට ගිය ගමන් මට උන්හිටි තැනුත් අමතක වුණා. ඒකට හේතුව එතනින් ඇවිදන් ගිය ලස්සනම ලස්සන කෙල්ලෙක්. කොච්චර ලස්සනද කියනවනම් අර මවන්න පුළුවන් කියල පම්පෝරිගහන එක මේ යකාට ඇත්තටම මවන්න පුළුවන් ඇති කියලත් මට හිතුණ. මට අපේ යාළුවත් එක්ක ආවේ මාර ඉරිසියාවක්. මෙච්චර ලස්සන කෙල්ලො වැඩකරන තැනට මට එන්න කියන්න තිබුණනෙ නේද? මම දන්නව අපේ යාළුව මාව මෙතෙන්ට එන්න කිව්වෙ නැත්තෙ මොකද කියල. ඒකට හේතුව අර අපේ යාළුවට වඩා මම හරි පෙනුමයිනෙ. ඒක නිසා මිනිහට තරඟයක් වෙයි කියල හිතන්න ඇති.

Thursday, October 6, 2016

ඉන්දියාව සහ ලංකාවේ යුද්ධය

කලින් පෝස්ටුවේ යුද්ධය අවසන් වුන අයුරින් අවසන් වීමට බලපෑ හේතු ගැන වූ සංවාදයේදී මට වැටහුණු කාරණයක් වූයේ රාජපක්ෂවාදීන්ට යුද්ධය සහ ඒසමඟ බැඳුණු දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාදාමයන් පිළිබඳ ඇතේ අල්ප දැනුමක් බවයි. කාටවත්  ඉවරකරන්න බැරිවුණ යුද්ධය ඉවරකළ විශ්ම කර්මයා වශයෙන් ඔවුන් රාජපක්ෂ ගැන සිතා සිටින්නේ මේ අල්ප දැනුම නිසා වන්නට පුළුවන. විෂය නිර්දේශයට අයත් දේ කටපාඩම් කර විභාගවලදී වමෑරීමෙන් දැනුම ලබන අධ්‍යාපන ක්‍රමයකට නිසා මෙය සිදුවන්නට ඇත. රටේ සහ ලෝකයේ සිදුවන දේ ගැන කියවීමට හා ඒ ගැන විස්තර සෙවීමට උත්සාහයක් නොගෙන ලිඳේ ඉන්නා මැඩියන් මෙන් විභාග වලට හෝ රැකියාවට අවශ්‍ය දැනීමෙන් සීමා වන මෙවන් අය සිටින්නේ ලංකාවේ පමණක්ද යැයි මට නම් සැකයක්ද ඇත. අන්ධ අනුගාමිකයන් නොවන ඉතිහාසය ගැන නොදැනුවත් වීම නිසා වැරදි අවබෝධයක සිටින කෙනෙක් වෙත්නම් ඔවුන්ගේ ප්‍රයෝජනයට ඒ ගැන ලියන්නට තීරණය කලෙමි.

Sunday, October 2, 2016

යුධ වීරයන්ට අනදර කරන යහපාලන දේශද්‍රෝහීන්

ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිරිපත්වූ නීතීඥයන්

ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව නැඟුණු අල්ලස් චෝදනාවකට නඩු පැවරී පලමු දිනයේදීම ඇප ලැබිණි. ඔහුගේ නඩු දිනයේ නීතීඥයන් විශාල පිරිසක් අධිකරණ ශාලාවට පැමිණ සිටියහ. සමහරුන් ෆේස්බුක් සහ අනිකුත් සමාජ මාධ්‍යවල සටහන් තැබුවේ යුද්ධය ජයග්‍රහණයට උරදුන් වීරයා අල්ලස් චෝදනාවකට ලක් කිරීම යහපාලන රජයේ පළිගැණීමක් බවත් කවදාවත් දමිල ජනතාව ප්‍රභාකරන්ව මෙවන් පලිගැනීමකට ලක් නොකරන බවත්ය.

මෙසේ තර්ක කරන අයට අනුව යහපාලනයට ඡන්දය දුන් අය, එම රජයට සහයෝගය දක්වන මෙවන් යුධ වීරයන්ට 'කරදර' කිරීමෙට පංගුකාරයන් බවත් එම නිසාම ඔවුන් දේශ ද්‍රොහීන් බවත්ය. පළමුවෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ ඔහුගේ සොයුරු හිටපු ජනාධිපති මහින්ඳ රාජපක්ෂ මහතාගෙන් යුද්ධය අවසන් කිරීමට  ලැබුණු දායකත්වය සුළුපටු නොවන බව හැමෝම පිළිගනිති.  මගේ විශ්ලේශණය අනුව ලෝකයේ ඇති ඉතා කුඩා රටක් වන ලංකාව ගැන ලෝක ජනමතයෙහි වැදගත් බව සහ වටිනාකම නොතේරුණු ජනාධිපතිවරයෙකු බලයේ සිටීම යුද්ධය අවසන් කිරීමට විශාල පිටිවහලක් වූ බව පිළිගත යුතුය. එමෙන්ම ආරක්ෂක ලේකම් ලෙස සිටි අය එම ජනාධිපතිගේ සොහොයුරෙකු  වීමත් ඔහුත් කලින් සිටි හමුදා නිලධාරියෙක් වීමත් මෙම ජයග්‍රහණයට හේතු විය. එවකට හමුදාපති තනතුරේ නොසිටි කොටින් සමඟ යුද්ධය ජයග්‍රහණය කිරීමට දක්ෂ  සරත් ෆොන්සේකා මහතා හමුදාපති කිරීම ගෝඨාභය රාජපක්ෂ මහතා  කල දෙයක් බවත් රහසක් නොවේ.

Tuesday, September 20, 2016

GMOA ගැන අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේ දී කළ විශේෂ ප්‍රකාශය



අධ්‍යාපන ඇමති අකිල විරාජ්



Source : http://sinhala.news24.lk


වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් අහිමි බවට පවසමින්, පසුගිය කාලය පුරා විවිධ සමාජ මතවාද නිර්මාණය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උත්සාහ කරන ආකාරය දැකිය හැකි වුණා.
එමෙන්ම ඔවුන් විසින් උද්ඝෝෂණ කිහිපයක් ද අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ අතර, පුද්ගලිකව මාගේ කීර්ති නාමයට හානි වන ආකාරයෙන් විවිධ මඩ පෝස්ටර් සහ අවලාද සිදුකරන අයුරු මාධ්‍ය හරහා ද අනාවරණය වුණා. පසුගිය බදාදා මහජන දිනය දා උදෑසන අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් රාජකාරී කාලයෙන් පසුව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරය තුළ රැඳී සිටිමින් විශාල මාධ්‍ය සංදර්ශනයක් සිදු කිරීමට උත්සාහ දැරුවා. එමෙන් ම ඔවුන්ගේ දරුවන්ට කිසිදු පාසලක් හෝ ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර නැතැයි පවසමින් ඔවුන්ගේ අරගලය සර්ව සාධාරණ එකක් ලෙස සමාජය ඉදිරියේ හුවා දැක්වීමට කටයුතු කිරීමට ඔවුහු උත්සාහ දරනවා.

Friday, September 16, 2016

යහපාලනය හොරා කන්නෝ

හෝමාගම සිට මහරගමට ස්ථාන මාරුවටත් හොඳ ඉස්කෝල ඉල්ලයි.



පසුගිය රජය කාලයේ යහපාලනයක් නොතිබුණ බැවින් පිරිසිඳු වතුර ඉල්ලූ රතුපස්වල වැසියන්ට උණ්ඩ වලට මුහුණ දීමට සිදුවුණි. ඩීසල් සහනාධාරයක් ඉල්ලා සිටි ධීවරයන්ටද වෙඩි උණ්ඩ ලැබිණි. තම වැටුපෙන් අසාධාරණ ලෙස විශ්‍රාම ක්‍රමයන්ට මුදල් කපා ගැනීමට විරුද්ධ වූ නිදහස් වෙලඳ කලාප සේවකයන්ට තිරිසනුන්ට ලෙස පහර දෙන ලදී. විශ්ව විද්‍යාල ක්‍රියාකාරීන් දෙදෙනෙකු මරා දමා හදිසි අනතුරු නිර්මාණය කෙරිණි. රජ පවුල සම්බන්ධ පෙම් ආරවුල් පවා විසඳුණේ දොස්තරවරුන් සහ පොලිස් නිලධාරීන් වැනි රාජ්‍ය තන්ත්‍රයම යොදවාගෙන සිදුකල ඝාතන වලිනි. රජයට අවාසි තීන්දු දුන් විනිසුරුවන් නෙරපා හරිනු ලැබිණි. ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනු වල හොරකම් පිලිබඳව දැනගත් ලසන්තව මරා දැමිණි.   බලපත්‍ර තහනමක් පෙන්වා ආණ්ඩු විරෝධී ජනමාධ්‍ය මට්ටු කෙරිණි. රටේ දරුවන් සහ විදේශිකයන් මරා දැමීමට හෝ දූණය කිරීමට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවිණි. විරුද්ධ අදහස් දක්වන්නන් අතුරුදන් වීමේ අනතුරට මුහුණ පෑහ. 

Monday, September 12, 2016

හැම එකාගේම දේශපාලනය අවසන් වන්නේ යූඑන්පී යෙන්

-විසල් කරුණාරත්න විසිනි-


(ලංකා ඊ නිව්ස් -20­­­­16.සැප්.12, පෙ.ව‍‍‍‍‍‍‍‍.6.30) ඒ 1989 වසරේ අවසන් කාර්තුවේ දවසක්. ඒ වන විට කැරැල්ල මුළුමණින්ම වගේ මැඩ පවත්වා තිබුණත් රට සාමාන්‍ය අතට පත් වී තිබුනේ නැහැ. එවකට විසි ගණන් වල සිටි අපි කිහිප දෙනෙක් කොල්ලුපිටියේ දුප්පත් ක්ලබ් එකක බෝතලයක් වටේ රොක් වී සිටිය. කණ්ඩායම අතරේ සඳරුවන්, මංජුල, කල්‍යා, සිරිමල්, සරත් සහ කාෂ්‍යප හිටිය වගේ මතකයි. වැඩේට ස්පොන්සර් කෙළේ අලජ්ඡි සුනිල්. ඌ ඉන්ෂුරන්ස් එකේ පියන් කෙනෙක්. එය දෙපැත්තෙන් තාප්ප සහිත, වා කවුළු නැති තැනක්. දුමෙන් පොට් එක වැසී තිබුණ. දෙපැත්තේ අලවා තිබූ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ විවිධ ෆොටෝ, ක්ලබ් එකේ අයිතිකාරයා තද ප්‍රේමදාස වාදියෙක් බව කියා පෑවා.
තැන හෝ නොතැන අපගේ සැලකිල්ලට එතරම් ලක් වූයේ නැහැ. අපි මහ හඩින් සහ සුපුරුදු ලෙස දේශපාලන සංවාදයක නිරත වී සිටියා. වැඩි දෙනෙක් කැරැල්ලට ප්‍ර‍ථම ජවිපෙන් ඉවත් වී නව ප්‍ර‍වනතාවය සමග හිඳ, එකවිට ප්‍රේමදාස රජයෙන් සහ ජවිපෙන් තර්ජන තිබූ එවුන්. විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය, නව සමසමාජ පක්ෂය, මහජන පක්ෂය ආදී යේ දේශපාලන රස්තියාදුවේ ගිය එවුන්. උතුරේ සහ දකුණේ වෙන වෙනම විප්ලව දෙකක් කර, ඒවා නැවත ඒකාබද්ධ කර ශ්‍රී ලංකා-ඊලාම් සමාජවාදී සමූහාණ්ඩුවක් සැදීමට යෝජනා කළ එවුන් ද සිටිය. අවට මේස වල සිටි එවුන්ට අපගේ සංවාදය එතරම් ගණනක් නැති වුනත් ක්ලබ් එකේ හිමිකරුට එය එතරම් දිරෙව්වෙ නැහැ. වරක් දෙවරක් පමණ අප අසලට පැමිණි අයිතිකරු ‘මල්ලී දේශපාලනේ කතා කලාට කමක් නැහැ ජනාධිපතිතුමාට බනින්න එපා’ යැයි අවවාද කළා. අපි ඒ ගැන එතරම් තැකීමක් කළේ නැහැ. දිගටම ප්‍රේමදාසව පතුරු ගැසුව. මලේ උපරිමයට ගිය අයිතිකාරයා එකවරම අප වෙත කඩා පැන සිරිමල් ගේ කොලරයෙන් ඇද ඌව එලියටම ඇද දැම්මා. අනෙක් එවුන් ෂේප් එකේ එළියට එන අතරේ අලජ්ජියා ඉතිරි කොටය සහ බයිට් එක ඔතා ගෙන එන්න තරම් තීක්ෂණ වුන.

Friday, September 9, 2016

ගී පද රචනා කිරීමත් කජ්ජක්ද?


ගී පද ලියන අවස්ථාවක පින්තූරයක්

බ්ලොග් අවකාශයේ ඉන්න තරුණ අයගේ තියෙන්නේ පුදුම හැකියාවල්. ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත කියල කියල තියෙන්නෙ අද ඉන්න තරුණ සමාජය වගේ එකක් එන බව නොදැනගෙන වෙන්න ඕන. ඒතරම්ම එම හැකියාවල් විවිධත්වය විශාලයි. මම හිතනව සමහර විට තමන්ගේ තිබෙන හැකියාවල් නොදන්න අය ඉන්න පුළුවන් කියල. මීට කලින් ගීත රචනා කරල නැති අයට ඒක අත්හදා බලන්න අවස්ථාවක් දෙන්නයි අපේ හිතවත් බ්ලොග් කාරිණියක් සූදානම් වෙන්නේ. ඒක නිසා විවිධ එක්ස්කියුසස් නොදී හැමෝටම මේ සැප්තැම්බර් මාසයේ උත්සාහ කරල බලන්න අභියෝගයක් ලබා දෙන්නේ මම නෙවේ පුංචි කැකුළු මල් ලියන තුශාණි. 

Thursday, September 8, 2016

මටත් වයින් දෙන්න



පින්තූරයෙන් කියවෙන්නේ මට ලෝකයේ වෙනස් කල හැකි දේවල් වෙනස් කිරීමට කෝපි ලබා දෙන ලෙසත් වෙනස් කල නොහැකි දේවල් එලෙසම පිළිගැනීමට වයින් ලබාදෙන ලෙසත් දෙවියන් ගෙන් කල ඉල්ලීමකි. (ස්තූතියි නිර්මාණි )

මේ ලෝකයේ මට වෙනස් කල හැකි එකම පුද්ගලයා මම විතරක්ය යන්න ජීවිතයේ යම් අවධියක වටහා ගැනීම ජීවිතය පහසු කිරීමට විශාල පිටුවහලක් විය. අර්බුධකාරී විවාහයක් සහ ගල් කුළු සමඟ පොරබදන්නාක් වැනි වූ තනතුරක විශාල කාලයක් සිටීම මෙම වටහා ගැනීමට හේතුව විය. ජීවිතය පහසු කරගැනීමට උදව් වූ අනෙක් කාරණය වූයේ මගේ දුර්වල කම සහ දක්ෂකම් ගැන පැහැදිලි වැටහීමක් ලබා ගැනීමට මඟ පෙන්වූ මගේ වෘත්තීය ඉගෙනීමයි.

Tuesday, August 23, 2016

මම නිවැරදිකරුය

ගරු විනිසුරුවරුනි

මා වෙත එල්ලවී ඇති සියළු චෝදනා වලට මම නිර්දෝශී බව ඔප්පු කිරීමටත් එම වරදට වගකිවයුතු වැරදිකරුවන් සමාජයට හෙළිදරව් කිරීමටත් මෙම දිවුරුම් ප්‍රකාශය ඔබ හමුවේ තබමි. බ්ලොග් ලියන්නන් 28 ක් සහ බ්ලොග් නොලියන එහෙත් කියවන අය තුන්දෙනෙක් විසින් ඒ අය කැමති ගීත ගැන පෝස්ට් සහ කමෙන්ට් දැමීමට පටන් ගැනීම කරන කොටගෙන  බටකොල යායට ගිණි තැබීම   මට එල්ලවී ඇති චෝදනාවයි. මේ චෝදනාව මාවෙත එල්ල කිරීම ද්වේශ සහගතව සිදුකරන එකක් බවත් මම ඒවාට කිසිසේත්ම වැරදිකරු නොවන බවත් මම කලේ එක බට කොලයකින් සිගරට් එකක් පත්තු කරගැනීම පමණක් බවත් බට යායට ගිණි තැබීම සිදුකලේ අන් අය බවත් මෙය කියවා අවසාන වන විට ගරු විනිසුරුතුමන්ලාට පැහැදිලි වනු ඇත. 



ගරු කල්‍යාණ මිත්‍ර මැතිතුමා

Wednesday, August 17, 2016

බ්ලොගර්ස් චොයිස්


තනියම ඉන්න විටක මුමුණන හෝ රසවිඳින ගීත සමහර විට අපේ ආත්මයේ කැඩපතක් වගේ කියන්න පුළුවන්. ඒ කැඩපත විවෘත කරන්න අභියෝග කලත් භාරගන්න කිසිම චකිතයක් නැති අය ගැවසෙන සමූහයක ඒවගේ අභියෝගයක් නිසා බිහිවූ ගී පවුරක් එක පිටුවකට ගැනීමක් තමයි මේක. 


1. කල්‍යාණමිත්‍ර තෝරපු ගී 16             2. හංසි තෝරපු ගී 16


3. නිර්මාණී තෝරපු ගී 16                     4. අටම්පහුර තෝරපු ගී 11 සහ තවත් ගීත


 5. තරිඳු ( සොමියා ) තෝරපු ගී 16     6. සිතුවිලි සිතූ තෝරපු ගී 16



7. ගස් ලබ්බ තෝරපු ගී 16                  8.1 රවී (නිදහස් සිතුවිලි ) තෝරපු ගී 16 -Part 1



9. කොලඹ ගමයා තෝරපු ගී 25        10. පොකුරු වැහි තෝරපු ගී 16



11. කසුන් තෝරපු ගී 16                         12.  නිම්නයක තනිවී තෝරපු ගී 20                  


13. සාරස තුමා තෝරපු ගී 16            14. තිලක සිත තෝරපු ගී 16


 15. ශානි ශෂී තෝරපු ගී 16             16.  විචාරක තෝරපු ගී 16



8.2  රවී (නිදහස් සිතුවිලි) තෝරපු ගීත 16 - Part 2                  17. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත තෝරපු ගී 16



18. ප්‍රභාත් (ගොඩයාගේ අඩවිය) තෝරපු ගී 16       19. විභීෂණ තෝරපු ගී 16      


20. තුශානි තෝරපු ගී 16                      21. ඉකොන් තෝරපු ගී 16  


 22. වැසිදැරිය තෝරපු ගී 16           23. කෙන්කියුෂා තෝරපු ගී 12    


24.උන්මත්තක තෝරපු ගී 16          25. ඉයන් තෝරපු ගී 16




සම්බන්ධ  ලිපි






Tuesday, August 16, 2016

ඡන්ද ප්‍රතිඵලයක්





මීට කලින් පළ කල ජීවිතය හා බැඳුණු ගීත සහ පොඩි තරඟයක් පෝස්ට් එකට ප්‍රතිචාර දැක්වූ සියළු දෙනාටම බොහොම ස්තූතියි. 


ගීත තුනක් නම් කිරීමේ අභියෝගයට ප්‍රතිචාර දැක්වූ කල්‍යාණ මිත්‍ර, සෙන්නා, ඉවාන්, රසික, මාතලන්, ප්‍රසන්න, කසුන්, ගිම්මි, පත්තර මල්ලි, අටම්පහුර  දුකා, හංසි, කම්මල, කපිල වස්තු, ලොකු පුතා, නිම්නයක තනිවී, X  porter, නිර්මාණි, තිලක සිත, විචාරක, දුමින්ද, ඉන්දුමතී, තරිඳු, ගස් ලබ්බ, පොකුරුවැහි යන මිතුරු මිතුරියන්ටත් ගීත නම් නොකොට අදහස් දැක්වූ ඉකොන්, කවිඳු, සා රස, ලිඛිතා, සින්දු ඇනෝ, ආදී මිතුරු මිතුරියන්ටත් බොහොමත්ම ස්තූතියි. 

තමන් කැමති ගීත 16 ක පෝස්ට් එකක් පළ කිරීමෙ අභියෝගය  භා ගත් සියළු දෙනාටත් දැනටමත් පෝස්ට් දැමූ කල්‍යාණ මිත්‍ර ,  හංසි,   නිර්මාණි    අටම් සහ තරිඳු ( සොමියා ), සිතුවිලි සිතූ, ගස් අබ්බ, රවී (නිදහස් සිතුවිලි ), අජිත් ( කොලඹ ගමයා ) ටත් සුබ පැතුම් සහ ස්තූතිය.

Monday, August 15, 2016

ජීවිතය හා බැඳුණු ගීත සහ පොඩි තරඟයක්



ගීත කියන්නේ අපේ ජීවිතෙත් එක්ක බැඳිච්ච කොටසක්. ආදරයෙන් මත්වෙලා ඉන්නකොට, විරහවක් දැනුනු කොට විතරක් නෙමෙයි කිසිම පෞද්ගලික හේතු නැතිවත් අපි සමහර ගීත වලට බැඳෙනවා. අද මාසයකට ගීත සිය ගණනක් පිටවුණත් දැනට දශකයකට පෙර කාලේ එහෙම ගීත ප්‍රමාණයක් පිටවුණේ නැහැ. ඒක නිසාම පිටවුණ හොඳ ගීත ඉක්මනින් ජනප්‍රිය වුණා. 

වසර කීපයකට පෙර උපන් දිනයකට මගේ ජීවිත කාලේ සිත්ගත් ගීත සී ඩී තැටි කරල දන්න අයට දුන්න. ඒ ගීත වලිනුත් වඩාත්ම හදවතට සමීප වෙච්ච ගීත දහය පෝස්ට් කරන්න හිතාගෙන පටන් ගත්තත් ඒ ලිස්ට් එක දහසයකට වඩා අඩුකරන්න බැහැ.  මේ තියෙන්නේ ඒ ගීත ටික. ඒවාට බැඳෙන්න හේතුවත් කෙටියෙන් දක්වලා තියෙනවා.


1. මුළින්ම පුරුදු තැනින්. දෙගුරුන් නිසා ආදරයක් අහිමි වුණ කෙනෙක් නිසා පුන්සිරි සොයිසා ගේ මේ ගීතයට මම ආසා කලා.





Monday, August 8, 2016

ගරු මහතානෙණි ඔබට නිවන් සුව.






මේ තියෙන්නේ අභාවප්‍රාප්ත විජය නන්දසිරි කලා කරුවා රූපවාහිනී වැඩ සටහනකදී ගැයූ ගීතයක්. ඔහු එම ගීතය ගයනු අසා ඔහුගේ බිරිඳ දේවිකා මිහිරාණි මහත්මිය හඬනවා. ඒ ඔහු එම ගීතය හදවතින්ම සිය බිරිඳට ගායනා කරන බව ඇයට හැඟුණ නිසා වෙන්න පුළුවන්. ඒවගේම ඔවුන්ගේ  දශක දෙකක් පමණ විය හැකි පවුල් ජීවිතය කොතරම් ආදරයෙන් සහ හැඟීමෙන් ගෙනගිය දෙන්නෙක්ද කියලත් එයින් පැහැදිලි වෙනවා. 

Friday, August 5, 2016

වැටෙන් එහා පැත්තේ කොල පාට තණකොල

වැටෙන් එහා පැත්තේ තණකොල කොල පාටයි කියල කියමනක් අපි නිතර පාවිච්චි කරනවා නේ. ඒකෙන් විස්තර වෙන්නේ සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයක්. අද අපට තියෙන දේවල් වලට වඩා අනික් අයට තියෙන අපිට නැති දේවල් ලබා ගැනීමට ඇති ආසාව අපිව බොහෝ දුරට ඒ දේවල් හොයාගෙන යන්න පෙලඹවනවා. අපිට අද තියෙන දේවල් නැති කරගෙන ඒ පෙලඹවීම් හඹා යාමටත් අපි සමහරු මැලිවෙන්නේ නැහැ. බටහිර රටවලට සංක්‍රමණය කිරීමට සමහර අය දරණ උත්සාහය මේ සංසිද්ධිය මොනවට කියාපාන අවස්ථාවක්. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නෙ ඒ රටකට සංක්‍රමණය වුණොත් අපේ තිබෙන ඔක්කොම ප්‍රශ්ණ විසඳෙනව කියල. බොහෝ සංක්‍රමණිකයන්ගේ මම දැකපු පොදු සාධකයක් තමයි සංක්‍රමණය වන පරම්පරාව බොහෝ ප්‍රශ්ණ වලට මුහුණ දීමත් දෙවන පරම්පරාව ඊට වඩා හොඳින් එම රටවල් වලට අනුගත වීමත්. 

Friday, July 29, 2016

පාද යාත්‍රාව ගිය බලාපොරොත්තු නොවූ ගමන



මේ ලිපිය ලියන්නේ මාතලන්ගේ බ්ලොග් එකේ වුන සංවාදයක් පදනම්ව. මෙම ලිපියේ සඳහන් වන ප්‍රතිශත එක්තරා සමීක්ෂණයකින් ලබා ගත්ත ඒවා. මෙම සමීක්ෂණ කල කණ්ඩායම 2015 අගෝස්තු මැතිවරණයේ එජාපයට ආසන 107 ක් ලැබෙන බව කීවා. ඇත්තටම ආසන 107 ලැබුණා. කොහොම වුණත් මට එම පාර්ශවය නම් කරන්න බැහැ. ඒ නිසා බොරුවක් කියල හිතන අය එහෙම හිතාගන්න.

යහපාලන ආණ්ඩුව ගැන ජනතාවගේ විශ්වාසය බිඳවැටිලා. එම නිසා මහින්ද නැවත බලයට එනවා කියන පිරිසක් ඉන්නවා. තව පිරිසක් කියනවා යහපාලන ආණ්ඩුව තවමත් ජනප්‍රියයි කියලා. විවිධ හේතු නිසා ආණ්ඩුවේ ජනප්‍රිය භාවය පිරිහිලා තිබෙන බව සත්‍යයක්. ඊට වඩා එක්සත් ජාතික පක්ෂය ගැන තිබූ ජන ප්‍රසාදයේ පිරිහීමක් ඇතිවී තිබෙනවා කිව්වොත් එය වඩා නිවැරදියි. ප්‍රතිඵල අනුව නම් පෙනී යන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන් යම් ප්‍රමාණයක් මෛත්‍රීට ආකර්ෂණය වීමක්. රනිල්, මහින්ද සහ මෛත්‍රී යන තිදෙනාගෙන් වඩාත්ම ජන ආකර්ෂණය තිබෙන්නේ මෛත්‍රීට. එය 30% කට වඩා ටිකක් වැඩි ප්‍රමාණයක්. දෙවෙනි ස්ථානය රනිල්ට ලැබිලා. එය 20% කට මඳක් වැඩි ප්‍රමාණයක්. මෙම ප්‍රමාණය කැපුවත් කොල වර්ගයේ අය විය යුතුයි. වැට් වැඩි කිරීම වැනි රනිල් ප්‍රමුඛ පාර්ශවය ගෙනෙන සමහර ජනප්‍රියතාවයෙන් අඩු යෝජනා මෛත්‍රී විසින් නිශේධනය කිරීම සමහර විට එජාපයෙන් මෛත්‍රී පැත්තට යන්න හේතුවක් වෙන්න පුළුවන්. මම හිතන අනික් හේතුව නම් මෑත කාලයේදී මහින්ද සමඟ සසඳන කල රනිල් ගේ කථිකත්වය විශාල වර්ධනයක් පෙන්නුම් කලත් ඔහුගේ කථිකත්වය හා සසඳන කල මෛත්‍රී ගව් ගණනක් ඉදිරියෙන් වීමයි. එය එසේ වෙතත් සිදුවී ඇත්තේ මෛත්‍රී-රනිල් එකතුව මැතිවරණය පැවැත්වූ කාලයට වඩා තරමක් ඉදිරියට යාම. ඒ අනුව බලන කල යහපාලන ආණ්ඩුවේ ක්‍රියාමාර්ග මොනවා වුණත් මෙම දෙදෙනා එකතුව සිටින තැන පරාද කිරීම අපහසු දෙයක් වෙනවා. 

Tuesday, July 26, 2016

මොරගහකන්ද ව්‍යාපෘතියට සුභ පැතුම්

ලංකා ඊ නිව්ස් -20­­­­16.ජූලි.26, පෙ.ව‍‍‍‍‍‍.8.45) 

“මාත් එක්ක තිබ්බ පුද්ගලික ප්‍රශ්නය වෙනම කාරණයක්. නමුත් රජරට ජනතාවගෙන් ඒකට පලිගත්තනම් ඒක වැරදියි“ ජනාධිපති මෛත්‍රී කීවේය.
මොරගහකන්ද කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ කළු ගඟ ප්‍රධාන වේල්ලේ නිදන් වස්තු තැන්පත් කිරීමේ ජාතික මහෝත්සවය ඊයේ මොරගහකන්දේ දී පැවැත්විණ. 
දීර්ඝ කාලයක් මෙම ප්‍රදේශයට වැසි නොලැබ තිබුනද පිරිත් දේශනා මධ්‍යයේ සුබ හෝරාවේ දී ජනාධිපතිවරයාගේ දෑතින් නිදන් තැන්පත් කරද්දී එම ප්‍රදේශයට පමණක් වැසි ඇද හැලීම කාගේත් පුදුමයට කාරණයක් විය. නමුත් එය පුදුමයකට කාරණාවක් නොවුනේ ජනාධිපතිවරයාගේ කතාව අසද්දීය. එය එතරම්ම ශෝචනීය අතීතයකි. ඔහු මෙම මොරගහකන්ද ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම වෙනුවෙන් කෙතරම් සටනක් කර තිබිනිදැයි හෙලිවෙද්දී එවැනි සටනක් ජයගන්නා අවස්ථාවක සොබා දහම වුව ආශිර්වාද කිරීම පුදුමයක් නොවන්නේම ය. 

Friday, July 22, 2016

වැඩකට ඇති දෙයක් නෙමෙයි



මේ ලිපිය ලියන්න හිතුනේ සම්මානනීය බ්ලොග්කරුවෙක් එක්ක කෙරුණු සතුටු සාම්ච්චි කථාවකදී. අධ්‍යාපන කටයුතු අතපසු කරමින් වීඩියෝ සහ පරිගණක ක්‍රීඩා වලට ඇබ්බැහියක් පෙන්නුම් කරන පාසැල් දරුවකු ගැන කථාවක් අතරදී තමයි මේ අදහස මතුවුණේ. ඔබට එවන් තත්ත්වයකට විසඳුමක් දෙන්න සිදුවුණොත් මොකද්ද දෙන විසඳුම?

බොහෝ මව්පියන් මෙවන් අවස්ථාවන් පාලනය කරන්න බලන්නේ අවවාද දීමෙන්, නීති දැමීමෙන්  හෝ තරවටු කිරීමෙන්. කුඩා ප්‍රතිශතයකින් එවන් ප්‍රවේශයක් සාර්ථක වෙන්න පුළුවන්.  එහෙත් බොහෝ විට වන්නේ එවන් ක්‍රියා නිසා සිත්වල ඇතිවන ද්වේශය නිසා පළිගැනීමේ චේතනාවෙන් ළමුන් තවත් නරක අතට හැරීමත් පවුලක පැවතිය යුතු සමගියට බාධා ඇතිවීමත්.   

Wednesday, July 6, 2016

අපි වංචක වීරයන්ද?


සාධාරණය සඳහා පෙනී සිටින්නෙකු ගේ වඩාත්ම වටිනා ලක්ෂණය වන්නේ පෞද්ගලිකව තමාට ලැබෙන ලාභය හෝ පාඩුව නොතකා තමා විශ්වාශ කරන අරමුණ වෙනුවෙන් පෙනී සිටීමයි. එම ලක්ෂණය පමණක්ම ඔවුන් වීරයන් ලෙස සැලකීමට ප්‍රමාණවත්ය. අද සමාජයේ එවන් අය ඉතිරිවී සිටිනවා දැයි මට සැකයක් ඇත. මෙය ලෝකයටම පොදු දෙයක් දැයි කීමට අන් බොහෝ සමාජ ගැන දැනීම මට නොමැත.

අපේ රටේ සිදුවීම් ගැන බලන විට නම් එය පුහු වීරයන් පිරි සමාජයක් බවට පත්ව ඇතැයි කීම අතිශෝක්තියක් නොවේ. රට වෙනුවෙන් ජීවිතය දුන් අය සිටි සමාජයක් මෙසේ පුහු වීරයන්ගේ සමාජයක් ලෙසට පරිවර්ථනය වූවාද? එසේත් නැත්නම් එය මධ්‍යම පන්තියට පමණක් සිදුවූ දෙයක්ද යන්න මම නොදනිමි. රාජකීය, ශාන්ත තෝමස් හෝ ට්‍රිනිටි විද්‍යාල වලින් යුද්ධය ඇරඹීමට පෙර නිලධාරී ඉන්ටේක් වලට ආවත් යුද්ධය පටන් ගත් පසුව සෙබල සහ නිලධාරී ඉන්ටේක් වලට බොහෝ විට ආවේ ගම් වලිනි. එයත් සමහරවිට වෙනත් රැකියාවක් සොයා ගැනීමේ තිබූ දුෂ්කරතාවය නිසා දැයි මට සිතෙයි.

Friday, July 1, 2016

තාක්ෂණය යොදාගෙන විසඳිය හැකි රටේ ප්‍රශ්ණ (2)






දියුණු රටවල මට්ටමට ආසන්න මට්ටමක ඇති සන්නිවේදන තාක්ෂණය යොදාගෙන රටේ ප්‍රශ්ණකාරී අංශ නිවැරදි කිරීමට යෝජනා කිහිපයක් ඔබලාගෙ අදහස් සඳහා කොටස් වශයෙන් ඉදිරිපත් කරමි.  

තාක්ෂණය යොදාගෙන විසඳිය හැකි රටේ ප්‍රශ්ණ (1)


තාක්ෂණය යොදාගෙන පාසැල් වලට ළමුන් ඇතුලත් කිරීමේ මධ්‍යගත ක්‍රමය

පාසැල් වලට ඇතුලත් කරගැනීමට ඉල්ලුම්පත් වෙබ් හරහා ලබාගැනීම. අයැදුම් කිරීම පලමු වසරය ඇතුලත් වල වර්ෂයට වර්ෂ දෙකකට කළින් ආරම්භ කිරීම. අන්තර්ජාල පහසුකම් නැති අයට ප්‍රාදේශීය සභාව හරහා නොමිලේ හෝ පෞද්ගලික වෙලඳසැල් හරහා සුළු මුදලකට වෙබ් හරහා අයැදුම් කිරීමට සැකසීම. එසේ ලැබෙන අයැදුම් පත් ලොතරැයි ක්‍රමයකට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මධ්‍යගත පාසැල් අනුයුක්ත කිරීමේ ක්‍රමයක් හරහා පාසැල් ලබාදීම. ජංගම දුරකථන හරහා අයැදුම්පත ලැබීම පාසැල අනුයුක්ත කිරීම ආදිය දෙමව්පියන්ට දැන්වීම. අනුයුක්තකල ලැයිස්තු වෙබ් හරහා ප්‍රසිද්ධ කිරීම.

Wednesday, June 29, 2016

තාක්ෂණය යොදාගෙන විසඳිය හැකි රටේ ප්‍රශ්ණ (1)



දියුණු රටවල මට්ටමට ආසන්න මට්ටමක ඇති සන්නිවේදන තාක්ෂණය යොදාගෙන රටේ ප්‍රශ්ණකාරී අංශ නිවැරදි කිරීමට යෝජනා කිහිපයක් ඔබලාගෙ අදහස් සඳහා කොටස් වශයෙන්  ඉදිරිපත් කරමි.  


තාක්ෂණය යොදාගෙන රජයේ ආයතන, පලාත් පාලන ආයතන වල ගෙවීම් කටයුතු මධ්‍යගත කිරීම

ස්ථාන කිහිපයක ශාඛා ඇති ආයතන සහ ආයතන කීපයක් ඇති සමූහ ව්‍යාපාර ඔවුන්ගේ ගෙවීම් මධ්‍යගත කිරීම මඟින් නාස්ති සහ හොරකම් බොහෝ දුරට අඩුකරගෙන ඇත. දුරකථන ජාල හරහා ශාඛා සහ ආයතන සම්බන්ධ කිරීමටත් අධි වේගයෙන් දත්ත යැවීමටත් හැකි මේ කාලයේ මෙම Shared Services ක්‍රමය රජයේ ආයතන වලට හඳුන්වා දීමෙන් විශාල නාස්තියක් වලකා ගත හැක. රජය විසින් මධ්‍යගත ගෙවීම් දෙපාර්තමේන්තුවක් (Central Payments Dept) ආරම්භ කිරීම සහ ඊට අනුබද්ධව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ශාඛාවක් ස්ථාපනය කරන්නේ නම් රටේ විවිධ ස්ථානවල දැනට කරන සියළුම ගෙවීම් කටයුතුව ගෙවීමට පෙර විගණනයක් සිදු කිරීම කල හැක.

Saturday, June 25, 2016

ගුරුවරු පෙරේතයි

සජ්ජා යොදාගත්ත පින්තූරේ

මේ පෝස්ට් එක ලියන්න හිතුනේ සජ්ජා ගේ ගුරුවරු පෙරේතයි යනුවෙන් පළ කල මේ පෝස්ට් එක නිසා . රටේ අධ්‍යාපනය හරි ගැස්වීම මගේ ඇති උණක් නිසා මේකට පිළිතුරක් පෝස්ට් එකකින්ම දානවා. මට හිතෙන්නෙ සජ්ජාත් රටේ අධ්‍යාපනය කරවන අය සහ දේශපාලකයින් වගේම ප්‍රශ්ණයේ වැරදි පැත්තෙන් අල්ලගෙන කියලයි. ගුරුවරයෙකුගේ වැටුප ගැන සජ්ජා ගෙන එන්නේ කාලීන ප්‍රශ්ණයක් බව පිලිගත යුතුයි. එහෙත් එම ප්‍රශ්ණයට  දීර්ග කාලීන සහ හොඳ ප්‍රතිඵල දෙන විසඳුමක් නිර්මාණය කරගන්න නම්  ගැටළුවේ input පැත්තෙන් නොව ouput පැත්තෙන් සිට සිතිය යුතුයි.

Monday, June 20, 2016

පුරවැසි නිවේදනයයි

පුරවැසි නිවේදනයයි

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.19, ප.ව‍‍‍‍‍ 11.30) 2015 ජනවාරි 8 වැනි දා මේ රටේ සිදු වුණේ ඓතිහාසික වෙනසකි. එතෙක් පැවති ප්‍රජාතන්ත්‍ර-විරෝධී සහ පවුල්වාදී පාලන තන්ත්‍රය පෙරලා යහපාලනික පරමාදර්ශය යටතේ නව ආණ්ඩුවක් එදා බලයට පත් කර ගැනුණි. දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ පැවති යුද්ධයක් හමුදාමය වශයෙන් අවසානයක් කළ නායකයෙකු, එම හමුදාමය ජයග්‍රහණයෙන් වසර පහක් වැනි කෙටි කාලයක් තුළ එම රටේම ජනතාව විසින් පරාජය කරනු ලැබීම, එම නායකයා සහ ඔහුගේ පාලන තන්ත්‍රය කෙරෙහි පැවති ජනතා අප්‍රසාදය මොනවට පැහැදිලි කෙළේ ය.